Pages

Sunday, February 7, 2021

අභියෝග හමුවේ නොසැලී වැජඹුණු විදු මෑණියන්........

 


 

 

බදුල්ල දිස්ත්‍රික්කයේ සිට කීණකැලේ මාර්ගයේ සැතපුම් 12ක් පමණ පැමිණි විට නාරංගල කඳු පාමුල මනරම් පරිසරයක පිහිටි බ/කන්දෙගෙදර මධ්‍ය මහා විද්‍යාලය හමුවේ. බහු ආගමික, බහු සංස්කෘතික පරිසරයක පිහිටි කන්දෙගෙදර නගරයේ ආසන්නයේ පිහිටා ඇති පාසල ආරම්භ වී ඇත්තේ වර්ෂ 1924 තරම් ඈත අතීතයේය. කන්දෙගෙදර ඉඩමේගම කුඩුගලේ ගෙදර නැමති ස්ථානයේ පිහිටි විශාල බෝ ගසක් යට තාවකාලිකව මානම් සෙවිලි කළ කුඩා ගොඩනැගිල්ලක විද්‍යාලය ආරම්භ කර ඇත. සිසුන් 40ගෙන් පමණ ආරම්භ වු විද්‍යාලයේ මුල්ම විදුහල්පතිවරයා ආර්.එච්. කරුණාරත්න මහතාය.

ඉන් අනතුරුව මෙම විද්‍යාලයේ වර්තමානයේ බ/විද්‍යාදීප විද්‍යාලය( බ/කන්දෙගෙදර මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික විද්‍යාලය) වෙත ගෙන ගොස් ඇත. මුල් ගුරුතුමා වශයෙන් කටයුතු කළ ආර්.එච් කරුණාරත්න මහතා 1941.10.03 දින විශ්‍රාම යන විට මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 204 දක්වා වර්ධනය කර ඇත. ඉන් අනතුරුව ඩී. එම් මංචනායක මහතා, ඩී.බී ප්‍රේමසිරි මහතා, ඩී. එම් පෙරේරා මහතා විදුහල්පතිවරුන් ලෙස සේවය කර ඇත.

1952 පමණ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 304 දක්වා ඉහළ ගිය හෙයින් විද්‍යාලයේ ඉඩකඩ සීමිත නිසා ඩී. එම් ප්‍රේමරත්න මහතා විද්‍යාලය වර්තමානයේ පවතින භූමිය වෙත ගෙන ඒමට පුරෝගාමි මෙහෙවරක් කර ඇත. එම ස්ථානයේ ස්ථිර ගොඩනැගිලි දෙකක් ඉදිකිරිම විද්‍යාලයේ පවත්වාගෙන යාම විශේෂ කරුණක් වශයෙන් වශයෙන් සදහන් කළ හැකිය. 1957.10.01 සිට 1960.12.31 දක්වා විදුහල්පතිවරයා වශයෙන් ටී.එස් වන්නිගම මහතාගේ කාලයේ විද්‍යාලය කණිෂ්ඨ විද්‍යාලයක සිට ජ්‍යෙෂ්ඨ විද්‍යාලයක තත්ත්වයට පත්ව ඇත. ඉන් අනතුරුව 1961 වර්ෂයේ ඒ. ජයසිංහ මහතා විදුහල්පතිවරයා වශයෙන් පත් වී ඇත. එම මහතාගේ එක් අවුරුදු කාලසීමාව අවසානයේ ආර්.ඒ.ටී වික්‍රමනායක මහතා විදුහල්පතිවරයා වශයෙන් පත්ව ඇති අතර එම කාල සීමාව තුළදී අ.පො.ස  උ.පෙළ පංති ආරම්භ කර ඇත. 1960 – 1962 කාලය දක්වා සේවය කළ විදුහල්පති ඩබ්ලිව්. එම් ප්‍රේමරත්න විදුහල්පතිවරයාගේ නිල කාලයේ විවිධ විෂයන් වලට ගුරුභවතුන්ගේ ලබා ගැනීමටත්, විද්‍යාලයේ දැනට පවතින ක්‍රීඩා පිටිය කැපීම ආරම්භ කිරීමත් සිදුවිය.

මෙම යුගයේ විද්‍යාලයේ ක්‍රීඩා, සංගීතය හා නර්තනය යන අංශයෙන් සමස්ථ ලංකා ජයග්‍රහණ ජාතික මට්ටමින් අත්පත් කර ගැනීමට හැකි වී ඇත. ඉන් අනතුරුව එස්.ඩබ්ලිව් විල්සන් මහතා, මහාචාර්ය ලාල් පෙරේරා මහතා විදුහල්පතිවරුන් වශයෙන් පත් වු අතර මේ යුගයේ විද්‍යාලයේ ප්‍රථම වතාවට ආර්.එම් ජයසුන්දර මහතා පළමුවෙන් උසස් අධ්‍යාපනයට ඇතුළත් වීම විශේෂ සිදුවීමකි.

ඉන් අනතුරුව ආර්.එම් සුමනපාල මහතා විදුහල්පති වශයෙන් පත්විය. මෙම විදුහල්පතිවරයාගේ කාලයේ විද්‍යාලයට නව ගොඩනැගිලි, දන්ත චිකිත්සාගාරය, බුදුමැදුර, කාර්මික ඒකකය, රැස්වීම් ශාලාව, සෞන්දර්ය ඒකකය ආදී සම්පත් බොහොමයක් ලැබුණි. 1984.05.20  දින විද්‍යාලය මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් විය. ඉන් අනතුරුව ජයන්ත වික්‍රමනායක මහතා, එච්.පී. සෝමසිරි මහතා, ගුණසිරි විජේරත්න මහතා, එස්.ඩබ්ලිව් විල්සන් මහතා සහ ආර්. එම්. අයි. පී රත්නායක මහතා විදුහල්පතිවරුන් වශයෙන් පත්වී විද්‍යාලයේ වත්මන් තත්ත්වය දියුණුවට පත් කිරීමට මහත් මෙහෙයක් ගෙන ක්‍රියා කළහ.

1997.11.01 මෙම විද්‍යාලය ජාතික පාසලක් බවට පත් වු අතර ඉන් අනතුරුව 2012 වර්ෂයේ දී බ/කන්දෙගෙදර ද්විතීය පාසලක් බවට පත්විය. 2016 වර්ෂයේදී “ ළගම පාසල හොදම පාසල ” ව්‍යාපෘතියේ සී කාණ්ඩයට අයත් පාසලක් බවට පත්විය. 2017 වර්ෂයේ දී ජාතික පාසල් වල අලුත්වැඩියා කටයුතු සදහා වෙන්වු රුපියල් ලක්ෂ එකසිය තිස් හයක වියදමින් අලුත් වැඩියා කටයුතු සිදුවු අතර එම වසරේ දීම අ.පො.ස (උ.පෙළ) තාක්ෂණ පීඨය රුපියල් ලක්ෂ තුන්සිය විසිපහක වියදමින් නව ඉදිකිරිම් ආරම්භ වී ඇති අතර 2020 වර්ෂයේදී වැඩ අවසන් වී දරු දැරියන්ගේ අයිතියට පත් කෙරුණි. වර්තමාන විද්‍යාලයේ ගුරු මණ්ඩලය, අනධ්‍යන කාර්ය මණ්ඩලය, ආදී ශිෂ්‍යයින්, සුභ පතන්නන්, දෙමාපියන් විසින් විද්‍යාලයේ උන්නතිය සදහා වත්මන් විදුහල්පතිතුමාට විශාල දායකත්වයක් හා ශක්තියක් ලබාදෙයි.

No comments:

Post a Comment